Homeදේශපාලන පුවත්කෘෂි නවීකරණ කාර්යාලයක් ස්ථාපිත කරන්නැයි ජනපතිගෙන් උපදෙස්

කෘෂි නවීකරණ කාර්යාලයක් ස්ථාපිත කරන්නැයි ජනපතිගෙන් උපදෙස්

කෘෂිකර්ම නවීකරණ වැඩපිළිවෙළේ දී මතුව ඇති ගැටලු නීත්‍යානුකූලව නිරාකරණය කරගැනීම සඳහා කෘෂි නවීකරණ ලේකම් කාර්යාලයක් කඩිනමින් ස්ථාපිත කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

කෘෂිකර්ම ක්ෂේත්‍රයේ නවීකරණය සඳහා ප්‍රතිපත්ති රාමුවක් සකස් කිරීම පිළිබඳව ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවට එක්වෙමින් ජනාධිපතිවරයා එම උපදෙස් ලබාදුනි.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ සහ අනෙකුත් රේඛීය අමාත්‍යාංශවල අතිරේක ලේකම්වරුන් හා සමාන්තර ශ්‍රේණිවල නිලධාරින් එම කෘෂි නවීකරණ ලේකම් කාර්යාලය සඳහා නම්කරන ලෙස ජනාධිපති ලේකම්වරයා වෙත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබාදී තිබේ.

තේ, පොල්, රබර්, වී, කුරුඳු, ධීවර වැනි ක්ෂේත්‍රවල සිදුකරන ලද පර්යේෂණ අනුසාරයෙන් රාජ්‍ය සහ පෞද්ගලික අංශය එක්ව ක්‍රියාත්මක කර ඇති ක්‍රියාකාරකම් ද ඇතුළත් කරමින් එම කෘෂි නවීකරණ ලේකම් කාර්යාලයේ ක්‍රියාකාරකම් එළිදක්වන ලෙස ද ජනාධිපතිවරයා නිලධාරීන්ට වැඩිදුරටත් උපදෙස් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

මෙහිදී රාජ්‍ය අංශයේ මඟපෙන්වීම හා තාක්ෂණික සහාය ඇතිව පෞද්ගලික අංශය ද දායක කර ගනිමින් පළාත් පාලන ආයතනවල නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් ඒ ඒ ක්ෂේත්‍රවලට අදාළ නියමු ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ හැකියාව ද ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.

කෘෂි නවීකරණ ලේකම් කාර්යාලය පිහිටුවීම සහ එහි වැඩකටයුතුවල ප්‍රගතිය ලබන ජුලි මාසය වනවිට තමන් වෙත වාර්තා කරන ලෙස ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට දැනුම් දී ඇති බව සඳහන්ය.

එමෙන්ම මෙම කෘෂිකාර්මික කටයුතුවලට අවශ්‍ය ඉඩම් නිදහස් කිරීමට අදාළ ඉල්ලීම් මෙම කෘෂි නවීකරණ ලේකම් කාර්යාලය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, එමගින් සුදුසු විසඳුම් යෝජනා කර තමන් වෙත ලබා දෙන ලෙස ද ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.

රුහුණු විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගාමිණී සේනානායක මහතාගේ සභාපතීත්වයෙන් යුතුව පත්කරන ලද කෘෂි නවීකරණය කමිටුව විසින් කෘෂිකර්ම නවෝත්පාදන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අදාළව ගනු ලැබූ තීරණ පිළිබඳව ද මෙහිදී ජනාධිපතිවරයා දැනුවත් කර තිබුණි.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here