Homeවිචිත්‍ර​ පුවත්ඡායාරූප මාධ්‍යවේදී එරංග ජයවර්ධන, ඡායාරූප මාධ්‍යවේදියෙකුට ලැබිය හැකි ලොව විශිෂ්ටතම සම්මානයට නිර්දේශ...

ඡායාරූප මාධ්‍යවේදී එරංග ජයවර්ධන, ඡායාරූප මාධ්‍යවේදියෙකුට ලැබිය හැකි ලොව විශිෂ්ටතම සම්මානයට නිර්දේශ වෙයි

– මාධ්‍යවේදියෙකුට ලැබිය හැකි ලොව විශිෂ්ටතම සම්මානය ලෙස සැලකෙන පුලිට්සර් ත්‍යාගය වෙනුවෙන් අවසාන නාමයෝජනා  අතරට ශ්‍රී ලාංකික ඡායාරූප ශිල්පියෙක් නම් වී තිබේ.

ඒ, ASSOCIATED PRESS(AP) ඡායාරූප මාධ්‍යවේදී එරංග ජයවර්ධන මහතායි.

විශේෂත්වය වන්නේ, ඔහු සමග මේ සම්මානය සඳහා නිර්දේශිත අවසාන අනෙක් ශිල්පියාත් ඊට නම් වී ඇත්තේ පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ අරගලයේ නිරත තරුණයින්ගේ හැඟීම් ඡායාරූපයට කැටිකර ගැනීම වෙනුවෙන් වීමයි.

ප්‍රවෘත්ති ඡායාරූප – බ්‍රේකින් නිව්ස් – කාණ්ඩය යටතේ පුලිට්සර් ත්‍යාගය සඳහා එරංග ජයවර්ධන මහතා සමග අවසන් වටයට නම් වී  ඇත්තේ, මුම්බායි පදනම් කරගනිමින් වාර්තාකරණයේ යෙදෙන ඡායාරූප ශිල්පී රෆීක් මක්බූල්.

මේ දෙදෙනාම අවසන් වටයට යෝජනා වී තිබෙන්නේ, ශ්‍රී ලංකාවේ ආර්ථික කඩාවැටීම සමග මතු වූ ජනතා කෝපයත් අරගලය සහ ඒ ආශ්‍රිතව මතුවුණු ජනතා හැසිරීම් ඡායාරූපයට ග්‍රහණය කර ගත් ආකාරය හේතුවෙනි.

ආර්ථික අර්බුදය හේතුවෙන් මතු වූ ජනතා කෝපය ග්‍රහණය කර ගැනීමටත් මිනිස් හැඟීම්වල සම්පූර්ණ පරාසය ඡායාරූප තුළට කැටිකර ගැනීමටත් ඡායාරූප ශිල්පී එරංග ජයවර්ධන මහතාට හැකි වී ඇත.

දෙදෙනාගේම ඡායාරූපවල උද්ඝෝෂකයින් අරගලයේදී ජනාධිපති මන්දිරය ඇතුළු රාජ්‍ය ආයතන අත්පත් කර ගත් ආකාරය ද මැනවින් සටහන් කරගෙන තිබේ.

එරංග ජයවර්ධන වසර 20 කට වැඩි කාලයක් පුරා ප්‍රධාන ස්වභාවික, සමාජ-දේශපාලන සහ විනෝදාස්වාද සිදුවීම්වල ප්‍රවෘත්ති ඡායාරූපකරණයේ සාක්ෂිකරුවෙකු සහ වාර්තාකරුවෙකු ලෙස කටයුතු කර ඇති අයෙකි.

පාසල් සමයේ සිටම ඡායාරූප ශිල්පයට යොමු වූ ඔහු 2002 දී ඇසෝසියේටඩ් ප්‍රෙස් සමග සම්බන්ධ වී අතර ශ්‍රී ලංකාව සහ අසල්වැසි මාලදිවයිනේ ඡායාරූප ආවරණය කිරීමේ වගකීම දරයි.

මෙවර ප්‍රවෘත්ති ඡායාරූප  Breaking News කාණ්ඩය යටතේ පුලිට්සර් ත්‍යාගය දිනාගත්තේ 2022 යුක්‍රේන යුද්ධයේ ඛේදවාකය සටහන් කරගත් Evgeniy Maloletka, ඉව්ගෙනි මලොව්ට්කා ප්‍රමුඛ ඇසොසියේට් ප්‍රෙස් වෙතටයි.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here