Homeදේශපාලන පුවත්පොලිස්පති ව ශ්‍රේෂ්ඨාධිකරණයට කැඳවයි

පොලිස්පති ව ශ්‍රේෂ්ඨාධිකරණයට කැඳවයි

නොවැම්බර් මස 16 වනදා පෞද්ගලිකව අධිකරණයේ පෙනීසිටින ලෙස පොලිස්පති සී. ඩී වික්‍රමරත්න මහතා ඇතුළු උසස් පොලිස් නිලධාරීන් පස් දෙනෙකුට ශ්‍රේෂ්ඨාධිකරණය අද (23) නියෝග කළේය.

ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු උප පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස් මහතාට වැටුප් ගෙවන ලෙස දෙන ලද අධිකරණ නියෝගයට අනුව කටයුතු නොකර අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා ය.

ඒ අනුව පොලිස්පතිවරයා සහ ඇඹිලිපිටිය සහකාර පොලිස් අධිකාරී ඩී. කේ. ඒ. සනත් කුමාර, ඇඹිලිපිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එම්. එන්. මෙන්ඩිස්, රත්නපුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජේ. එස්. වීරසේකර, සබරගමුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහින්ද ගුණරත්න යන මහත්වරුන්ට මෙලෙස  අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කෙරුණි.

වැඩතහනමට ලක්වී සිටින පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස් මහතා වෙනුවෙන් ඔහුගේ නීතිඥවරු විසින් ඉදිරිපත් කළ මෝසමක් ප්‍රියන්ත ජයවර්ධන, එස්. තුරෙයිරාජා සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද කැඳවනු ලැබීය.

එහිදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ විරාන් කොරයා මහතා අධිකරණයට දන්වා තිබුණේ වැඩතහනමට ලක්වී සිටින තම සේවාදායකයාට වැටුප් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉකුත් මැයි 8 වනදා නියෝගයක් නිකුත් කළත් එම නියෝගය මේ දක්වා ක්‍රියාත්මක වී නොමැති බවය.

පෙත්සම්කාර සුදත් මෙන්ඩිස් අධිකරණය හමුවේ ගොනුකර තිබූ සිය පෙත්සමෙන් සඳහන් කර තිබුණේ මරණීය දණ්ඩනය නියම වී සිටි නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට එරෙහි නඩුවේ දී අසත්‍ය සාක්ෂි නිර්මාණය කළේ යැයි අත්අඩංගුවට ගන්නා ලද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරට එරෙහිව අසත්‍ය සාක්ෂි ලබාදෙන මෙන් පොලීසිය කළ ඉල්ලීමක් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් තමන්ව අත්අඩංගුවට ගැනුණු බවය.

2020 වසරේ අගෝස්තු මස 03 වනදා සිට තම වැඩ තහනම් කිරීමට පොලිස්පතිවරයා ගත් තීරණය බලරහිත කරන ලෙස ඉල්ලමින් ඔහු මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here