ශ්‍රී ලංකා මහ බැංකුවේ 2023 අංක 01 දරන මුදල් ප්‍රතිපත්ති විවරණය හෙට (25) දින පෙරවරු 7.30 ට දැනුම් දීමට නියමිතව ඇත.
ප්‍රතිපත්ති පොලී අනුපාතික පවතින මට්ටමේම පවත්වාගෙන යනවා ද, නැතිනම් වෙනසක් කරනවාද යන්න පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ තීරණය හෙවත් මුදල් ප්‍රතිපත්ති විවරණය එහිදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
මුදල් ප්‍රතිපත්තියට අයත් ප්‍රධාන සංරචකයන් වන නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය 14.50% මට්ටමේ ද, නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 15.50% මට්ටමේ සහ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතිය 4.00% මට්ටමේ මේ වන විට පවතී.
මුදල් ප්‍රතිපත්තිය යනු මිල ස්ථායීතාව ළඟා කර ගැනීම සඳහා මහ බැංකුවක් විසින් මුදලේ පිරිවැය (පොලිය) සහ මුදල් ප්‍රමාණය (මුදල් සැපයුම/ද්‍රවශීලතාව) මත බලපෑම් සිදු කරනු ලබන ක්‍රියාවලියකි.
ශ්‍රී ලංකාව තුළ මුදල් ප්‍රතිපත්තිය සම්පාදනය සහ ක්‍රියාත්මක කිරීමේ වගකිව යුතු ආයතනය ශ්‍රී ලංකා මහ බැංකුව වේ. මුදල් ප්‍රතිපත්ති තීරණ ගැනීමේ ප්‍රධාන බලධාරියා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වේ.
මුදල් මණ්ඩලය වෙත මුදල් ප්‍රතිපත්ති නිර්දේශ ඉදිරිපත් කිරීමේ වගකීම දරනුයේ අධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මෙහෙයවනු ලබන මුදල් ප්‍රතිපත්ති කමිටුව (Monetary Policy Committee) විසිනි. මුදල් අංශයේ ප්රවණතා හා සාර්ව ආර්ථික වර්ධනයන් අධීක්ෂණය කිරීම සහ සුදුසු මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය සඳහා වූ නිර්දේශ මුදල් මණ්ඩලයේ අවධානය සඳහා ඉදිරිපත් කිරීම මුදල් ප්‍රතිපත්ති කමිටුවේ ප්‍රධානතම කාර්යභාරය වේ.