Homeදේශපාලන පුවත්බදු සහන ගැසට්ටුව හිරවෙයි

බදු සහන ගැසට්ටුව හිරවෙයි

මෙරට ආයෝජනය සිදුකරන සමාගමකට වසර 12ක බදු සහන ලබාදීමට අදාළව අද (04) පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිත ක්‍රමෝපාය සංවර්ධන පනත යටතේ නියමයන්ට අනුමැතිය ලබා නොදීමට රජයේ මුදල් පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය නිසි විශ්ලේෂණයක් ලබානොදීම හේතුවෙන් අදාළ ගැසට් පත්‍රයට එම සභාවේ අනුමැතිය හිමිනොවූ බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මුදල්, ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා 2008 අංක 14 දරණ ක්‍රමෝපාය සංවර්ධන පනත යටතේ අංක 2291/25 දරණ මෙම නියමය පසුගිය සැප්තැම්බර් 20වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

ඒ, මෙරට ආයෝජනය සිදුකරන සමාගමකට වසර 12කට බදු සහන ලබාදීම සම්බන්ධයෙනි.

මෙම නියමය හරහා මෙරට ආර්ථිකයට හිමිවන ප්‍රතිලාභ පිළිබඳව මුදල් කාරක සභාව ඊයේ (03) රැස්වූ අවස්ථාවේදී එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අයෝජන මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන්ගෙන් විමසා ඇත.

එහිදී ඊට අදාළ ප්‍රමාණවත් තොරතුරු ලබාදීමට ආයෝජන මණ්ඩලය අපොහොසත් වීම හේතුවෙන් සිය බලවත් අප්‍රසාදය පළකළ කමිටු සභාපති හර්ෂ ද සිල්වා මහතා ඒ අනුව මේ මොහොතේ අනුමැතිය ලබාදිය නොහැකි බව ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව අද පෙරවරු 09ට සියලු දත්ත සහ විශ්ලේෂණ සහිතව කමිටුව හමුවට පැමිණෙන ලෙස ආයෝජන මණ්ඩලයට දැන්වූ කාරක සභා සභාපතිවරයා අදාළ තොරතුරු ඉදිරිපත් කිරීමට නොහැකි නම් එම ගැසට් පත්‍රයට අනුමැතිය ලබාදීමට හැකියාවක් නොමැති බව ප්‍රකාශ කර ඇත.

මේ අතර, අද දිනයේ පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිත නිෂ්පාදන බදු විශේෂ විධි විධාන පනතේ නියමයට සහ ආනයන අපනයන පාලන පනත යටතේ වන නියමයන්ට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිවූ බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here