ශ්‍රී ලංකාවේ කුමන හෝ අධිකරණයකින් විත්තිකරුවන්ට නියම කරනු ලබන මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සඳහා අත්සන් නොතැබීමට වත්මන් ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි නීතිපතිවරයා අද (23) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටින විත්තිකරුවන් හතර දෙනෙකුට පණවා තිබෙන මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සඳහා අත්සන් කිරීමට 2019 වසරේ දී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණය අභියෝගයට ලක් කරමින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම් අද කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා එම දැනුම්දීම සිදුකළේය.
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අදාළ ක්‍රියාව අභියෝගයට ලක්කරමින් දැනට මරණීය දණ්ඩනය නියම වී සිටින සිරකරුවන්, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, ඇතුළු පිරිසක් විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් අද කැඳවූ අවස්ථාවේ දී එම දැනුම්දීම සිදුකෙරුණි.
විජිත් මළල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු, එස්. තුරෙයිරාජා, ගාමිණි අමරසේකර සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ එම පෙත්සම් කැඳවනු ලැබීය.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා, අධිකරණය හමුවේ කරුණු දක්වමින් ශ්‍රී ලංකාවේ කුමන හෝ අධිකරණයකින් නියම කරනු ලබන මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සඳහා අත්සන් නොතැබීමට වත්මන් ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි දැනුම් දුන්නේය.
මේ බව දැනුම් දෙමින් ජනාධිපති ලේකම්වරයා විසින් නීතිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබෙන බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා දන්වා සිටියේය.
මෙහිදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි සාලිය පීරිස් සහ සංජීව ජයවර්ධන යන ජනාධිපති නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් වත්මන් ජනාධිපතිවරයා මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සඳහා අත්සන් නොතබන බවට තීරණය කර තිබුණ ද අනාගතයේ දී පත් වන ජනාධිපතිවරු එම තීරණය අනුව කටයුතු කරනු ඇතැයි අනුමාන කළ නොහැකි බැවින් එම පෙත්සම් සම්බන්ධයෙන් තීන්දුවක් අපේක්ෂා කරන බව දන්වා සිටියේය.
මෙහිදී සභාපති විනිසුරු විජිත් මළල්ගොඩ මහතා අධිකරණය හමුවේ සඳහන් කළේ, මෙම සිද්ධියේදී මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සඳහා විත්තිකරුවන් තෝරා ගැනීමේ ක්‍රියා පටිපාටිය පමණක් තම අධිකරණය හමුවේ ප්‍රශ්න කිරීමට හැකියාව පවතින බවය.
ඉන් පරිභාහිරව පවතින කාරණා පිළිබඳව මැදිහත්වීමට අධිකරණයට හැකියාවක් නොමැති බව පෙන්වා දුන් විනිසුරු මළල්ගොඩ මහතා එම පෙත්සම්වල සඳහන් වන ආකාරයේ තත්ත්වයන් ඉදිරි අනාගතයේ දී ඇති නොවීමට විධායකය වගබලා ගත යුතු බවත් සඳහන් කළේය.
ඒ අනුව ජනාධිපතිවරයා විසින් මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සඳහා අත්සන් නොතබන බවට නීතිපතිවරයා විසින් ලබා දුන් ප්‍රතිඥාව සටහන් කරගත් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම පෙත්සම් විභාගය අවසන් කිරීමට ද තීරණය කළේය.
2019 වසරේ ජූනි මස 26 වනදා ප්‍රකාශයක් සිදුකළ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි විත්තිකරුවන් හතරදෙනෙකුගේ දඬුවම් ක්‍රියාත්මක කිරීම සඳහා අත්සන් කරන බව ප්‍රකාශ කර තිබුණේ යැයි අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම්වල සඳහන් කර තිබේ.
එම දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් විත්තිකරුවන් තෝරා ගත් ආකාරය පිළිගත් පටිපාටියට පටහැනි බවත් මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම ශ්‍රී ලංකා රාජ්‍යයේ ප්‍රතිපත්තිය නොවන හෙයින් ඔහුගේ තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලමින් අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර තිබුණි.