- මසක් තුළ වාර්තාවක් ලබාදෙන ලෙස ජනපතිගෙන් බලධාරීන්ට උපදෙස්.
- ඩිජිටල් සහ හරිත ආර්ථිකය සමාන්තරව නඟාසිටුවීමට තරුණ අදහස් හා යෝජනා අපේක්ෂා කරනවා.
රට ඩිජිටල් ආර්ථිකයක් කරා ගෙන යාමේ වැඩපිළිවෙළ වේගවත් කිරීම පිළිබඳ මසක් තුළ වර්තාවක් ලබාදෙන ලෙස විෂයභාර රාජ්‍ය අමාත්‍යවරයා ඇතුළු නිලධාරීන්ට තමා උපදෙස් ලබා දුන් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කොළඹ 08, ඇල්විටිගල මාවතේ ස්ථාපිත කෙරුණු ඩරාස් ප්‍රධාන මුලස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (18) පස්වරුවේ එක් වෙමිනි.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බදු ආදායම් අය කරගැනීම සඳහා ස්ථාපිත කර ඇති ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය හෙවත් රැමිස් (RAMIS) පද්ධතිය පිළිබඳව ද මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ 1993 වසරේ අග්‍රමාත්‍යවරයා ලෙස ද තමා ඒ පිළිබඳ සාකච්ඡා කළ බවයි.
නමුත් 2023 තවමත් ඒ පිළිබඳ සාකච්ඡා කරමින් සිටීම කණගාටුවට කරුණක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රට ඩිජිටල් ආරථිකයක් කරා ගෙන යාමේ වැඩපිළිවෙළ කිසිසේත් ප්‍රමාද කළ යුතු නැති බවත් එය වේගවත් කරන තරමට ප්‍රතිඵල අත්කරගත හැකි බවත් කියා සිටියේය.
පීත්ත පටිය කැපීමෙන් අනතුරුව ඩිජිටල් ඵලකය ආලෝකවත් කරමින් ඩරාස් මුලස්ථානය නිල වශයෙන් විවෘත කළ ජනාධිපතිවරයා එය නිරීක්ෂණය කිරීමට ද එක් වූ අතර එහි අධ්‍යක්ෂ මණ්ඩලය සමඟ සාකච්ඡාවක ද නිරත විය.
ශ්‍රී ලංකාවේ ඩිජිටල්කරණය වේගවත් කිරීම සඳහා සැබෑ “ඊ -වාණිජ්‍ය” යුගයේ ආරම්භය සනිටුහන් කරමින් ඩරාස් ආයතනය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීම පිළිබඳව අලිබබා සමාගම වෙත සිය ස්තූතිය පළ කරන බව ද ජනාධිපතිවරයා පැවසීය.