දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ශූරතාවලියේ තුන්වැනි දිනය අවසානයේදී පිහිටුවා තිබූ තරගාවලි වාර්තා ගණන 11 කි.
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය සංවිධානය කරන තරගාවලියට එක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගණන 2300කට ආසන්නයි.
ගුවන් හමුදාවේ එච්.කේ.ටී.ඩී සිල්වා එහි වයස අවුරුදු 23 න් පහළ මීටර 100 කාන්තා ඉසව්ව ජය ගත්තේ ය.
ඒ, තත්ත්පර 12 යි දශම 5 යි 2ක දක්ෂතාවයක් දක්වමිනි.
ගුවන් හමුදාවේම ඩී. ඩී. වයි දහනායක තත්ත්පර 12 යි දශම 5 යි 4ක දක්ෂතාවයක් දක්වමින් එම ඉසව්වේ දෙවැනි ස්ථානය දිනා ගත්තේ ය.
එච්. එම්. එන්. කේ රත්නායක එහි තුන්වැනි ස්ථානයට හිමිකම් කීවේ තත්ත්පර 12 යි දශම 6 යි 2 ක දක්ෂතාවයක් දක්වමිනි.
තරගාවලියේ වයස අවුරුදු 23 න් පහළ පිරිමි දුර පැනීම ඉසව්ව යුධ හමුදාවේ ඩබ්ලිව් ඉනුර කවිෂාන් පියසිරි ජය ගත්තේ මීටර 7 යි දශම 3 යි 9 ක දක්ෂතාවයක් සටහන් කරමිනි.
වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලේ යෙශාන් කුමාර එම ඉසව්වේ දෙවැනි ස්ථානය දිනා ගත් අතර ඩිලන් ලුඩෝවයික් එහි තුන්වැනි ස්ථානයට හිමිකම් කීවේ ය.
කොළඹ විශාකා විද්‍යාලයේ කාවින්දි එස් එදිරිසිංහ තරගාවලියේ වයස අවුරුදු 23න් පහළ මීටර 400 ධාවන ඉසව්ව ජය ගත්තා ය.
ඒ තත්ත්පර 57 යි දශම 6 යි 5 ක කාලයක් සටහන් කරමිනි.
ගුවන් හමුදාවේ කේ. එච්. ඒ. ඩී. කෞෂල්‍යා එම ඉසව්වේ දෙවැනි ස්ථානය දිනා ගත් අතර කෑගල්ල දිස්ත්‍රික් මලල ක්‍රීඩා සංගමයේ යූ. කේ. එස්. සී. පී බණ්ඩාර තුන්වැනි ස්ථානය හිමි කර ගත්තා ය.
අදත් එහි ඉසව් රැසක අවසන් තරග පැවැත්වීමට නියමිතව තිබේ.